ධම්ම ගුරු සරත් සේනානායක මහතා

ධම්මගුරු සරත් සේනානායක මහතා 1930 මාර්තු 30 දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ වටද්දර ග්‍රාමයේ ඉපිද වටද්දර හා මොරපේ විදුහල්වලින් සිංහල අධ්‍යාපනය ලබා ගම්පොල ජිනරාජ හා හැදුනුවැව මධ්‍ය මහා විද්‍යාලවලින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූවෙකි. එවකට පෙරදිග භාෂා පිළිබඳ ශේෂ්ට විද්‍යතනයක් වූ “කොත්මලේ වටද්දර ඥානෝදය” පිරිවෙණේ බාහිර ශිෂ්‍යයකු වශයෙන් බැදී පාසල් යන අවදියේම පාලි සංස්කෘත හා සිංහල භාෂාවන් අධ්‍යයනය කරමින් ප්‍රාචීන විභාගයෙන් ද සමත් වීම වර්තමාන ධර්ම පර්යේෂණයට රුකුලක් විය. ගුරු විභාගයෙන් සමත්වීමෙන් පසු අනුරාධපුර නාච්චිදූව දෙමළ සිංහල විදුහලේ ගුරුවරයකු වශයෙන් 1951 දී ස්ථිර ගුරු සේවයට බැදී 1956-57 කටුකුරුන්ද ගුරු විදුහලෙන් ගුරු පුහුණුව ලැබීය. පසුව 1960 දී පේරාදෙණිය සරසවියට ඇතුලත්ව උපාධිදරයකු වූ පසු 1964 දී අධ්‍යාපන පරිපාලන සේවයට බැදී 1990 දී විශ්‍රාම යන විට නුවරඑලිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුර දැරීය. මෙකී කාලය තුල නැවත පේරාදෙණිය සරසවියට ඇතුලත්ව “අධ්‍යාපන ඩිප්ලෝමා” පුහුණුව ලබා 1971 දී නවදිල්ලියේ “යුනෙස්කෝ ආයතනයෙන්” අධ්‍යාපනය සැලසුම් කිරීම හා පරිපාලනය” පිළිබඳව පුහුණුවද ලැබීය. 1990 දී විශ්‍රාම යාමෙන් පසු නැවතත් පේරාදෙණිය සරසවි පුස්තකාලය ඇසුරු කරමින් බුදුදහම පිළිබඳ පර්යේෂණයක යෙදී වැඩිහිටියන්ට ධර්මය ඉගැන්වීම නිවසින් ආරම්භ කළේය. ක්‍රමයෙන් එම ධම්ම ගුරු සේවය මුළු රට තුලම ව්‍යාප්ත වී “කිංකුසල ගවේසී සංගමය” ද ක්‍රියාත්මක විය. කිසිවෙකුගෙන් බුලත් නැට්ටකදු අපේක්ෂා නොකොට උපේක්ෂාවෙන් යුතුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ධර්මදුත සේවාවේ යෙදී අසරණ සරණ සේවය සඳහාද සිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් යොමු කෙරේ. අද අවමංගල්‍ය චාරිත්‍ර සඳහා විනාශ කරන ධනයෙන් හා ඒ සඳහා සිදුකෙරෙන පුජා විධීන උදෙසා වැය කරන ධනය අවම කොට එම මුදලින් නිවසක් නැති අසරණ දරු පවුලකට කුඩා වූ හෝ නිවසක් තනා ඔවුනට පූජා කිරීමට අවබෝධයක් ලබා දීම හේතු කොට ගෙන මේ වන විට එබදු නිවසක් නැති අසරණ පවුල් තුන්සියයකට පමණ නිවාස තනා භාර දී ඇත. එසේම ආලෝක ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කොට වෛද්‍ය පීඨවලට ඇතුල්වන සමුද්ධිලාබී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම මගින් මේ වන විට අප ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඉකුත් වසර කිහිපය තුල රුපියල් තිස්ලක්ෂයකට අධික මුදලක් සාමූහිකව එක් කොට වැය කර තිබේ. මේ සේවාවන් අකණ්ඩව සිදු වෙමින් පවතී. ගවයින් නොමරා ජිවනෝපාය සඳහා කිරිදෙනුන් බෙදා හැරීමේ ක්‍රමයක් උතුරුකරයෙන් ආරම්භ කිරීමට කිංකුසල ගවේසී ශ්‍රාවක ශ්‍රාවිකාවෝ දැනට රුපියල් දොළොස් ලක්ෂයක් රැස්කොට ගෙන සිටිති. ධර්මයෙන් දැනුවත් කිරීමට අමතරව සමාජ සේවයටද හුරු කරති. මේ වනවිට “ආලෝක” දහම්පතින් හා බුද්ධානුසාසනා ග්‍රන්ථ මගින් ශ්‍රාවක හා පාඨක ජනතාව දහමින් දැනුවත් කෙරේ. අනුරාධපුර අභයගිරි පෙදෙසේ “ආලෝකය අසපුව” නමින් ධර්ම මධ්‍යස්ථානයක් හා පුස්තකාලයක් පිහිටුවා එහිද මාසිකව ධර්ම සාකච්ඡා පැවැත්වේ. දැනට 80 වෙනි වියට පා තබා සිටින මෙතුමා වෛද්‍යවරු දෙදෙනෙකුගේ පියෙකි. විශ්‍රාමික බිරිදගේ උපරිම සහාය මේ ධර්ම සේවාවට නිරන්තරවම ලැබේ. දෙපාවාරුව පවත්නාතුරු සදහම් චාරිකාවේ යෙදී අවසානයේ ආලෝක අසපුවෙන්ද නේවාසිකව එම සේවය ඉටු කරනු ඇත.